අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
2024-01-08
සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියන්නෙ බුදුවරු, බෝසතුන් සහ බෝධිසත්වයන්ගේ මාර්ග සත්‍යය අන්තර්ගතවන දේශනා මාලාවක්. මහායානය තුල යන බුද්ධ පරම්පරාවක් තිබෙනවා. එහි න්‍යායාත්මක ක්‍රමවේදයක් සහ ධර්මතාවයක් තිබෙනවා. හැබැයි මේ සියල්ල ඇතුළත් සම්පුර්ණ චිත්‍රය (Big Picture එක) හැමෝටම පේන්නෙ නෑ. ඒක සාධාරණයි. ඇත්තටම එහි සම්පූර්ණ චිත්‍රය දකින්නේ සම්මා සම්බුදු වරයා පමණයි. පරිනිර්වාණය වන මොහොතට පෙර මොහොතේත් ඒ චිත්‍රයේ අවසාන තිත තබලා තමයි සම්මා සම්බුදුවරයා පරිනිර්වාණය වන්නේ. ථේරවාදයට හෝ හීනයානයට අදාළ නොවන විෂයය පථ ගණනාවක් සම්මා සම්බුදු වරයෙක් විසින් දේශනා කරනු ලබනවා. බෝසත් සහ බෝධිසත්ව මාර්ග එවැනි විෂයය පථයන් වලට අයත්වේ.
බුදුවරු සහ බෝධිසත්වවරු කියන්නෙ දෙගොල්ලක්. බෝසතා කියන්නේ බුද්ධත්වය තෙක් පෙරුම් පුරමින් යන කෙනා. බෝධිසත්වයන් බුදුවරයා සමීපයේ තමන්ව අතහැර කටයුතු කරමින් පාරමී පුරා ගනිමින් බෝධිසත්ව භාවය තුළ වාසය කරනවා. අවසානයේදී පාරමී සම්පූර්ණ වෙනකොට බෝධිසත්වභාවය අතඇරලා දාලා බුද්ධ ස්වභාවයට පත්වෙනවා.
ඒ මාර්ග සත්‍යය මහායානය තුළ අන්තර්ගත වන එකක්. මහායාන වුනාම එයාගේ චින්තනය පුළුල්, ආකල්ප පුළුල්. එයා බිත්තරේ කටුව කඩාගෙන එළියට එන්න පුළුවන් කෙනෙක්. මහායානිකයෙක් කියන්නෙ ආර්ය පර්යේෂකයෙක්.
මහායානය තුල න්‍යායන් හා ධර්මතාවයන් මත පදනම් වූ විශාල සංකල්ප ගණනාවක් තිබෙනවා. එයින් එකක් තමයි තනිව වාසය කරනවා කියන කාරණය. තනිව වාසය කරනවා කියන එකේ විශාල ගැඹුරු අර්ථයක් හා ධර්මතාවයක් තිබෙනවා. මේ දර්ශනය තේරුම් ගනිද්දී යම්කිසි “පුද්ගලයෙක්” සරණ යනවා නම් ඔබට නිවන් දකින්න බෑ. මොකද ඔබට සරණ යන්න පුද්ගලයෙක් ඔබ ඇතුළේ පැනවෙනවා. ඒ පුද්ගලයා මරාගන්න ඕන නිවන් දකින්න ඕන නම්. ඒනිසා ඇතුළේ පුද්ගලයෙක් පනවගන්නේ නැතුව දර්ශනය හා මාර්ග සත්‍යය ලබාගන්න ඕනා. මාර්ග සත්‍යය අනුගමනය කරන්න ඕනා. එහෙම වුනොත් පුද්ගලයෙක් සරණ යන්නේ නෑ. පුද්ගලයෙක් සරණ ගියොත් මාර්ගය වැරදියි. මහායානය තියෙන්නේ තනිව වාසය කරන්න.
මේ ලෝකේ බුදුවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා. මහරහත් බුදුවරු, පසේබුදුවරු, බුදුවරු, සම්මා බුදුවරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආදී ලෙස. මහරහත් කියන්නෙත් බුදුවරු තමයි. එතකොට අසූ මහා ශ්‍රාවකයෝ කියන්නේ බුදුවරු. බුදු වෙනවා කියන එකේ අදහස තමයි එක එක්කෙනා එක් එක් ඥානයෙන් බුදු වෙනවා කියන එක. හැබැයි රහත් කියන්නේ බුදු නොවේ. රහතෙකුට ඥානයක් නෑ. සෑම බුදුවරයකුටම කුමක් හෝ ඥානයක් තිබෙනවා. රහතෙකුට තියෙන්නෙ මග ඵලයක්. ඒ තමයි රහත් ඵලය.
බුදුවරයාට තියෙන්නෙ ඥාන දර්ශනයක්, ඥානය හේතු කොටගෙන යථාර්ථය තේරුම් ගෙන, සුවිශුද්ධව අහෝසි වෙනවා. එතකොට ඒ ඥානය හඳුන්වනවා බුද්ධ විදියට, බුද්ධ බෝධිය විදිහට හඳුන්වන්නේ එයයි. බුද්ධ කියන්නේ බුද්ධියට. ඒ දෙකම එකයි.
කවුද මේ බෝධිසත්වවරු කියන්නේ. බෝධි කියන්නෙ බුද්ධ කියන එකට. බුදුවරුන් සමීපයේ සිටිමින් තමන්ව අතහැරලා කටයුතු කරන අය තමයි බෝධිසත්වවරු. ඔවුන්ගෙන් සමහරු බුදු වෙනවා. සමහරු බුදු වෙන්නෙ නෑ. බෝධිසත්ව ගුණ පුරනවා. ඒ අය බෝධි සත්ව භාවය තුලම නිවන් දකිනවා. සෝවාන් ආදී මගඵල මුකුත් අදාල නෑ. ඒක ථේරවාදය. මේ මහායානය තුළ තිබෙන මාර්ගයක්.
බුදුවරයකු සමීපයේ සිටිමින් අවංකව කටයුතු කරන කෙනාට බෝධිසත්වයන් යැයි කියනවා. ඔවුන් සතුව බෝධිය තිබෙනවා. ඒකයි ඔවුන් බුදුන් දකින්නේ. බුදුන්ව හඳුනන්නේ. ඔවුන් සත්වයන්ට සේවය කරන්නේ නෑ. සත්වයෝ එතෙර කරන්න යන්නේ නෑ. බුදුවරයා සත්වයන්ට සේවය කරනවා. ඒ නිසා බෝධිසත්වවරු බුදුවරයා වෙනුවෙන් කටයුතු කරනවා.
බෝධිසත්වවරු ගණනාවක් ඉන්න පුළුවන්. හැබැයි එක බෝධිසත්වවරියක් ඉන්න පුළුවන්. හැම සාසනයකම එක බෝධිසත්වවරියක් පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ බෝධිසත්වවරුන්ට කරන්න බැරි ප්‍රත්‍ය සකස් කරන කටයුතු බෝධිසත්වවරිය සිදුකරනවා.හැම සාසනයකටම ඒ ධර්මතාවය අදාලයි. නැත්නම් බෝධිසත්වවරු තමා බිහිවන්නේ. බෝධිසත්වවරු ඔවුන්ගේ කාර්යය සම්පූර්ණ කරලා පිරිනිවීම සිදුකරනවා.
කවදාවත් බුදුවරයා බෝධිසත්වවරයෙකුට එයාගේ ගුණ කියන්නෙ නෑ. ඒ ඇයි දන්නවද? ඒ ගුණ කීම එයාට වංචනික වෙන්න හේතු වෙනවා. ඒක මනසට පීඩාවක්. ඒ කාරණය නොදැන ඉන්න එක එයාට ලේසියි. ඒ අයට නිදහසේ වැඩේ කරන්නයි ඕනා. බෝධිසත්වවරුත් ගුණ කියනවට අකමැතියි. බෝධිසත්වයන්ගේ යහපත උදෙසාම ඒ අය ගැන වර්ණනා කරන්න, ගුණ කියන්න යන්නේ නෑ. නමුත් බෝධිසත්වයෙක් පිරිනිවන් පාන අවසාන මොහොතේ බෝධිසත්ව ගුණ බුදුවරයා කියනවා. උන්වහන්සේලාගේ මහා ගුණස්කන්ධයක් තිබෙනවා.
බෝධිසත්වයෙකුගේ එක ගුණයක් තමයි, ඒ බෝධිසත්වයාට උවමනාවක් නෑ, එයා බෝධිසත්ත්වයෙක් කියලා දැනගන්නවත්. එයාට එහෙම එකක් නෑ. බුදුවරුන්ට, රහතන් වහන්සේලාට, තමන් බුදුවරයා කියන්නවත්, රහතන් වහන්සේ කියන්නවත්, උවමනාවක් නෑ. ඒක තමයි ස්වභාවය..
රහතන් වහන්සේ නමක් තුළ, රහතන් වහන්සේ නමක් නෑ. රහත් නොවූ අයට තමයි රහතුන් ඉන්නේ. ඒ වගේ තමයි බෝධිසත්වයෙකුට බෝධිසත්වයෙක් කියලා කෙනෙක් නෑ. ඔවුන්ට ඕනා බුදු වරයා වෙනුවෙන් අවංකව පාරිශුද්ධව වැඩ කරන්න. මේ හැඳින්වීම් භාවිතාව පිණිස දාගත්ත වචන මාත්‍ර විතරයි. නැත්නම් එහෙම එකකුත් නෑ. සාසනයක් තුළ බුදුවරු වර්ග ගණනාවක් සහ බෝධිසත්වරු ගණනාවක් ඉන්නවා. නමුත් සමාජයට ඉස්මතු කරන්නෙ නෑ. මොකද ඉස්මතු වුණු ගමන් එයාට ස්වභාවයෙන්ම හානි වෙන්න පටන් ගන්නවා.
ඔබේ නුවණින් මේ විෂය පථයයන් හා මාර්ග දර්ශනය නුවණින් සුවිශුද්ධ කරගන්නවා වගේම සත්වයාට සේවය කරන්න අවශ්‍ය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාව යන සතර බඹ විහරණ ගුණයේ වාසය කරන්න ඕනා. බෝධිසත්වයාට සියලු සත්වයෝ ගුරුවරු.
එතකොට මහායාන සම්ප්‍රදාය සහ ථෙරවාදී සම්ප්‍රදාය ලෙස පැති දෙකක් තිබෙනවා. ඒක වෙනම කතාවක්. සම්ප්‍රදාය දැනට පැත්තකින් තබලා කතා කරන කොට මහායාන කියලා සෘජුව හා න්‍යායාත්මකව කියන්නේ බුදුවරු ඇසුරු කරගෙන පවතින ක්‍රමයක්. බුදුවරයෙක් කියන්නේ, පුද්ගලයෙක් නොවෙයි බුද්ධ විෂය ඇසුරු කරගෙන, බුද්ධ ඥාණ ඇසුරු කරගෙන ගනුදෙනු කරන සහ පවතින්න පුළුවන් හැකියාව. ඒ system එකත් එක්ක ගනුදෙනු කරන එක, ගනුදෙනු කරන විදිය, බෝධිය සහ මාර්ගය යන කාරණාත් එක්ක බෝධිසත්ව කියන ධර්මතාවය පවතිනවා. බෝධිසත්වයන්ට බුදුවරයත් එක්ක සමීපව ඇසුරු කරන්න පුළුවන්, බුදුවරයාට අපහසුවක් දැනෙන්නේ නෑ. බෝධිසත්වයෙක් කියන්නේ තමන්ව සියයට සියයක් අත හැරලා බුද්ධ එක්ක ගනුදෙනු කරන්න හැකියි කියන එකයි. එතකොට තමයි බුද්ධ ජීවමාන වෙන්නේ. පාරිශුද්ධ බුද්ධ ස්වභාවය (Pure Buddha Nature) තුළ වැඩ සිටින්න බුදුවරයාට හැකිවන්නේ.
ධර්මතාවය හා න්‍යායට අනුව කතා කරද්දි බෝධිසත්වයා තමන්ගේ නිවන ගැන හිතන්නේ නෑ. නිවන් දකින දවසක නිවන් දැකපුදෙන් කියලා අවංකව තමන්ගේ කාර්යය කරනවා. ඇත්තටම නිවන කියලා එකක් නෑ. ලංකාවේ මිනිස්සු තමයි නිවන කියලා එකක් දාගෙන ඉන්නේ. කොච්චර මිනිස්සුන්ව අන්දලාද කියනව නම් කෙනෙක් මැරුණහම නිවන් සැප ලැබේවා කියලා බෝඩ් ගහනවා. සමහර අයට නිවන් පිස්සුවක් තියෙන්නේ. එහෙම නිවන් කියලා එකක් නෑ. හරිම වචනය Enlightenment. ඒ කියන්නෙ ප්‍රඥාවෙන් ඉහළම තැනට යනවා. මනුෂ්‍යත්වයෙන් උපරිමත්වයට යනවා. එතනට ගියාට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවලින් අයින් වුණාට පස්සේ එයා නිවන් දැකලා ඉන්නේ. අලුතෙන් නිවනක් ඕනේ නෑ. එයා මැරුණාට පස්සේ හිතළු නිවනක් භුක්ති විඳින කෙනෙක් නොවෙයි. නිවන් සැපත ජීවත්වෙලා සිටිත්දී විඳින්න ඕනා. මේ ජීවිතය තුළ මේ Enlightenment එක කියනදේ ප්‍රඥාවෙන් බුද්ධියෙන් නිවනේ අග්‍රත්වයට පත්වෙන එක, මනුෂ්‍යත්වයේ උපරිමයට යනවා කියනදේ මනුස්සයෙක් විදියට එතනට යන්න ඕනේ. එතනට ගියාට පස්සේ එයා සියල්ල පූර්ණ කරපු නිසා ආයිත් එයාට තව උපතකට යන්න ඕන කාරණාවක් නිර්මාණය වෙන්නේ නෑ.
ගෞතම බුදු හාමුදුරුවෝ සමහර තැන්වලදී බෝධි සත්වයාව පරීක්ෂා කරනවා දරුණු විදියට. බුදු හාමුදුරුවෝ ළඟ හිටිය හොඳම බෝධිසත්වයා තමයි අවලෝකිතේශ්වර. බුදු හාමුදුරුවෝ බණ කියන්නෙ හරි අමුතු විදියටනේ ඒ කාලයේ. ඒ කියන්නෙ උදාහරණයක් නිර්මාණය කරලා, උදාහරණය අරගනනෙ බණ කියන්නේ. පොත පතේ එහෙම තියෙන්නෙ සිද්ධියක් අරගෙන සිද්ධිය අරභයා ධර්මය දේශනා කරනවා කියලා.
මේ අවලෝකිතේශ්වර බෝධිසත්වයාට විවරණය දෙන්න කලින්, විලක නමක් කියලා, මම මේ විලෙන් පැන් පොදක් බොන්න කැමතියි කියලා. ඔහු මම ගෙනල්ලා දෙන්නම් කියලා යනවා. හුඟාක් දුර යනවා. තව කට්ටියක් එතන ඉන්නවා. කවුරුත් ඉතින් යන්නේ නෑ ඒ විලට පැන් ගෙන්න. හැබැයි අවලෝකිතේශ්වර සද්ද නොකර යනවා. ගිහිල්ලා මෙයා වතුර අරගෙන එනවා. වතුර අරන් ආවට පස්සේ “මෙන්න ස්වාමීනි පැන්” කියලා බුදුන්ට පැන් පූජා කරනවා.
“ආ ගෙනාවද? කොහේ තිබුනත් වතුර වතුරමයි. විල විතරයි වෙනස්. කොහෙ තිබුනත් වතුර වෙනස් වෙන්නේ නෑ. නමුත් මේ කිව්වදේ අහලා අර විලෙන් ගිහිල්ලා වතුර ගෙන්න තරම් මෝඩ වුණානේ” කියලා බුදුන් ඔහුට අර පිරිස මැද ලැජ්ජා කරනවා.
උන් වහන්සේ වතුර ටික පැළයකට ඉහිනවා. අවලෝකිතේශ්වර බෝධි සත්වයාගේ හිත අල්ප මාත්‍රයක්වත් වෙනස් වෙන්නෙ නෑ. එයා පුදුම සතුටකින් ඉන්නවා, මං පැන් ටික ගෙනාවානේ. එයාට ඕනා එච්චරයි. පැන් ටික ගෙනාවානේ. ගෙනල්ලා පූජා කළානේ ඒ සතුටෙන් ඉන්නවා.
බුදු හාමුදුරුවෝ කියනවා, අවලෝකිතේශ්වර තුළ පහළ වෙලා තියෙන බුදුන් වෙනස් වෙන්නේ නෑ කියලා. ඒ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නෑ. ඒ ශ්‍රද්ධාව නිශ්චලයි. සෙලවෙන්නේ නෑ. මෙච්චර එයාව හෑල්ලුවට ලක් කළත්, සමච්චලයට ලක් කළත් එයාගේ බුදුන් වෙනස් වෙන්නේ නෑ කියලා කියනවා. අවලෝකිතේශ්වර වැඩිය කතා කරන කෙනෙක් නොවෙයි. එයා කතා කරන්නෙ නෑ. වචනයක් ගන්නවා කියන එක හරිම අමාරුයි. එයා වචන කතා කරන්නෙම නෑ. දවසට වචන දෙකක් වගේ කතා කරයි. කතා කරන්න ඕන වුණත් කතා කරන්නේ නෑ. ඔහු සියලු සත්ත්වයාට නමස්කාර කරන කෙනෙක්. බුදුවරයා විතරයි දකින්නේ මෙයා මේ විදියේ බෝධිසත්වයෙක් කියලා. අඩුම ගානේ එයාවත් දන්නේ නෑ. පාපිස්සක් වගේ කිසිම මාන්නයක් නොමැති අසාමාන්‍ය ගුණස්කන්ධයක් තියෙන කෙනෙක්. මොන විලෙන් ගත්තත් වතුර වතුර වෙන්නේ යම් සේද, අවලෝකිතේශ්වර තුළ තියෙන බුද්ධ ස්වභාවය ඒ හා සමානයි වෙනස් වෙන්නේ නෑ කියලා බුදුන් වහන්සේ කියනවා. අවලෝකිතේශ්වර තුළ බුදුන් ජීවමානයි. ඒ නිසා තමයි මෙයා ලෝකයට බුද්ධගේ ස්වභාවය සහ බුද්ධගේ ධර්මතාවය අරන් යන්නේ අවලෝකිතේශ්වර නමින්. අවලෝකිතේශ්වර බෝධි සත්වයා හැදුනේ ඒ විදියට.
බෝධි සත්ව කාරණය කියන්නේ විශාල විෂයය පථයක් තියෙන එකක්. බෝධිසත්ව කියන මාර්ගයට ආවට පස්සේ මගදී, ඒ මාර්ග සත්‍යය, ඒ න්‍යාය වෙනස් කළොත් එහෙම ඔබ සසර ආවා වගේ දුරක් ආයිත් යන්න වෙනවා. කොච්චර සසර දුර එන්න ඇතිද? ඒ වගේ දුරක් ආපහු යන්න වෙනවා. ඒ තරම් මාර්ග සත්‍යයේ පීලි පැනීමක් සිද්ධ වෙනවා. බෝධි සත්ව ධර්මය, බෝධි සත්ව ගුණ සහ බෝධි සත්ව මාර්ගය කියන මේවා වෙනම විෂයය පථයකට අයිති කාරණා. ඒක ථේරවාදයට අදාළ නෑ.
බෝධිසත්වයෙකුට සැකයක් ඇති වුණාම මොකද කරන්නේ? බෝධි සත්වයාට ලේසියෙන් සැකයක් ඇතිවෙන්නේ නෑ, සැකයක් ඇති වුණොත් ඒකට එයාම උත්තරය සපයා ගන්නවා. ප්‍රශ්න කරලා එයාගේ සැක දුරුකර ගන්න කෙනෙක් නෙවෙයි බෝධිසත්වයා කියන්නේ. එහෙම එකක් ඒ විෂයය පථය තුළ නෑ. ඒක එහෙම වෙන්න ඇත්තේ මේ හේතුව නිසා වෙන්න ඇති කියලා එයාම කාරණයක් හදාගන්නවා. එහෙම නැතුව සැකය දුරුකරගන්න ප්‍රශ්න කරන්නේ නෑ. ඒක තමයි බෝධි සත්ව ස්වභාවයේ ලක්ෂණය. මොකද කිසිමවිටක ඒ සැකය ඇති වෙන්නෙ බාහිර කෙනෙක් ගැන නෙවෙයි. තමාගේ ඇතුලේ හදා ගත්ත එකත් එක්ක ඇතිවන සැකය තිබෙන්නේ. උදාහරණයක් විදියට ඔබ හාමුදුරු කෙනෙක්ව දන්නවා. නිතර කතා බහ කරනවා. එතකොට ඒ හාමුදුරුවන්ව ඔබ තුළ හැදෙනවානේ. හාමුදුරුවෝ කොණ්ඩෙයි රැවුලයි කපලා ඉන්නේ. ටික දවසකින් එයා එනවා කොණ්ඩෙයි රැවුලයි වවාගෙන සුදු ලෝගුවක් වගේ ඇඳුමක් ඇඳලා. එතකොට ඔබ එයාව දකිද්දී ඇයි මේ කොණ්ඩෙයි රැවුලයි වවාගෙන. ඇයි ඇඳුම් මාරු කරලා කියලා ලොකු ප්‍රශ්නයක්නේ. ඔබගේ ඇතුලේ ඉන්න කෙනාට කොණ්ඩෙයි රැවුලයි තිබුණේ නෑ. එයා සිවුරක් ඇඳලා හිටියේ. හැබැයි ඔබ දැන් එළියේ දකින කෙනාට කොණ්ඩෙයි රැවුලයි තිබෙනවා. සිවුර සුදු ඇඳුමකට මාරු වෙලා. ඔබ ඇතුලේ ඉන්න කෙනා සහ බාහිර කෙනා ගැලපෙන තාක් කාලයක් එයාව හොඳයි. හැබැයි වෙනස් විදියකට ඉන්න ගත්තොත් එහෙම දැන් එයා හරි යන්නේ නෑ. ඇයි? ඔබගේ ඇතුලේ ඉන්න කෙනාගේ විදියට අර බාහිර කෙනා දැන් නෑ. එතකොට ඒ සියල්ල තමන් තුළ ගොඩනැගෙන දේවල්. ඔබට එහෙම වුණාට අර බෝධිසත්වයාට එහෙම වෙනස් වෙන බුදු කෙනෙක් එයාගේ ඇතුලේ නෑ. ඒක තමයි බෝධිසත්ව කෙනෙකුගෙ ශ්‍රද්ධාව කියන දේ, තමන්ව සියයට සියයක් අත හැරලා දකිනවා කියන්නේ ඒක තමයි. ඒවා වෙනස් වෙන්නෙ නෑ. දවසින් දවස ඒක ශක්තිමත් වෙන එක සහ වැඩෙන එක තමයි වෙන්නේ. ඒක හීන වෙලා දුර්වල වෙන්නෙ නෑ. ඒකයි බෝධිසත්ව ස්වභාවය. කෙනෙක් බෝධි සත්වයෙක් නම් ඒ බව විවරණය කරන්නේ බුදු කෙනෙක් විසින්. තමන් තමන්ව බෝධිසත්වයෙක් විදියට ප්‍රකාශ කරන ධර්මතාවයක් නැහැ.
බෝසත් මාර්ගය සහ බෝධිසත්ත්ව මාර්ගය කියන්නේ මාර්ග දෙකක්. මේ මහායාන සංකල්ප පිළිබඳව ධර්මතා කාලයත් සමඟම වැළලී ගොසින් ඒ සංකල්ප සමාජයෙන් ගිලිහිලා තියෙන්නේ. සතා, මනුසතා, බෝසතා වශයෙන් පැමිණිලා අවසානයේ තමයි බුද්ධ වෙන්නේ. මහබෝසතාණන් කියන්නේ ඊළඟට බුදු වන බුදුවරයා. බුදුවරයෙක් විසින් ඒ බෝසතාට ඊළඟට බුදු වන බුදුවරයා ලෙස විවරණය දෙනු ලබනවා. ඔහු බොහෝ විට ඍද්ධිපාද චිත්තය තිබෙන කෙනෙක්. ඊළඟට ඒ බුදුවරයා පරිනිර්වාණය වන විට, ඍද්ධිපාද යාන්ත්‍රණය ඔස්සේ පිරිනිවන් පාන බුදුවරයා සාපේක්ෂ වැඩීම හරහා ඍද්ධිපාද අත්හරින අතර බෝසතාණන්ට ඍද්ධිපාද යම් ප්‍රමාණයක් හුවමාරු වෙනවා. ඊටපස්සේ සත්වයාට සාපේක්ෂව බෝසතාට ඍද්ධිපාද වැඩෙනවා.
සාපේක්ෂ වැඩීමත් සමඟ බෝසතා තුළ අනන්ත සත්ව ලෝක පිහිටන්න පටන්ගන්නවා. ඒ අනන්ත ලෝක සත්ව තුළ තමයි බෝසතා බුදුවෙන්නේ. බෝසතාට දෙන පළවෙනි විවරණය තමයි අනන්ත ලෝක සත්ව ඔබ තුළ පිහිටනවා සහ ඒ තුළ ඔබ බුදු වෙනවා කියන එක. එය පහසු කාර්යයක් නොවෙයි. රාග, ද්වේශ, මෝහ උපරිමයට වැඩෙනවා. ඒ සියල්ල දරා ගැනීම තුළ තමයි බුද්ධ කියන දේ හැදෙන්නේ. අනන්ත ලෝක සත්ව තුළ සියල්ල ජයගන්නවා. රාග, ද්වේශ, මෝහ, මාර… මේ සියල්ලෙන් අග්‍රවෙනවා. බුදුවෙනවා. තිරිසනා, ප්‍රේතයා සියල්ල එතන ඉන්නවා. තුන් ලෝකෙටම අග්‍ර කියන්නේ ඒකයි. ඒ හරහා සියලු සත්ව ලෝකයන් පිළිබඳව පිළිසිඳ දැනගන්නවා.
සියලු සත්වයා එතනට කේන්ද්‍රගත වෙනවා. ඒ සත්ව ලෝකයේ මෛත්‍රීය ස්ථාපිත කරගෙන, මෛත්‍රිය දරාගෙන එන්නේ. සත්වයාගෙන් හොඳක් අහන්න වෙන්නේ නෑ මේ ගමන තුළ. ශාසනය මුලින්ම හැදෙන්නෙත් ඇතුළෙ ලෝකයේ. ඊට පස්සේ සත්ව ලෝකය තුළ බුදු වෙලා ඒ තුළ බුද්ධ පූර්ණය වෙලා පිරිනිවන් පානවා. මේ සියල්ල ඇතුලේ ලෝකය වෙන්නේ. එසේ පිරිනිවන්පෑවට පස්සෙ එළියේ ලෝකය හටගන්නවා. මාර්ග දර්ශනය දීම හරහා පළවෙනි රහතන් වහන්සේ බිහිවීමත් සමග තමයි ශාසනයේ බාහිරින් ස්ථාපිත වන්නේ පටන් ගන්නේ. ඒ දක්වා බෝසතාට ලොකු ගමනක් තිබෙනවා. බෝසතා ඒ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳිමින් පැමිණි ගමනේ අවසාන ප්‍රතිඵලය තමයි බුද්ධත්වය. බොහෝ දෙනා දකින්නේ මේ බුද්ධ කියන ඵලය විතරයි. ඒ දක්වා බෝසතා පැමිණි ගමන දකින්නේ නෑ. ගහේ හැදෙන ගෙඩියට වඩා හැදුනු ගස දිහා බලන්න මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. බෝසතාගේ මේ ගමන තුළ ගැටගැසෙන (Entangle වන) අය තමයි ඒ බුද්ධ ශාසනය තුළ ගැලවිලා යන්නේ.
මේ අතරින් මෛත්‍රී බෝසතාණන් විශේෂයි. ආරභති චිත්තං, ආරභති වීර්යං කියලා ඔබ අහලා ඇති. ආරම්භ කළ චිත්තය නොවෙනස්. ආරම්භ කළ වීර්යය නොවෙනස්. සිදුහත් බෝසතාණන් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා නම් මෛත්‍රී බෝසතාණන් කල්ප හයක් දුෂ්කරක්‍රියා කළා වගේ දෙයක් තිබෙනවා.
මෛත්‍රී බුද්ධ සාසනය ආරම්භ වන්නේ ගෞතම බුදුන්ගේ පරිනිර්වාණයත් සමඟයි. මේ වනවිට ලෝකෙට නොපෙනෙන චරිතයක් විදියට මෛත්‍රී බෝසතාණන් කරලා තියෙන දේ දැක්කම, මෛත්‍රී බෝසතාණන්ට වැන්දට මිනිස්සුන්ට පව් නෑ. ඔවුන් මනුෂ්‍යයත්වය තුළ රැඳිලා ඉන්නේ මෛත්‍රී බෝසතාණන්ට පින් සිද්ධ වෙන්න. මෛත්‍රී බෝසතාණන්ට මුළු ලෝකයේම මිනිස්සු වැන්දත්, එතුමාට තියෙන ණය මිනිස්සුන්ට ගෙවන්න බෑ. ඒ තරම් වැඩ කරලා තියෙනවා. මහපොළොවේ වැලි කැට ගණන් කරන්න පුළුවන්. ඒත් එතුමාගේ ගුණ නිශ්චය කරන්න බෑ. කවදාවත් සත්වයා ඉස්සරහ බඩගින්න දැනුනේ නෑ.. බත් පිඟාන අතට ගන්නකොට කී දෙනෙක් බඩගින්නේද කියලා සත්වයා මතක් වෙනවා. දෙන්න කෙනෙක් සිටියේ නැත්නම් තමයි එයා කන්නේ. මෛත්‍රී බෝසතා එහෙමයි.
බුදුන් කියන්නේ අවසාන ප්‍රතිඵලය (result), එහෙම නැත්නම් අවසානය (end). මහ බෝසතාණන් වැඩ කරලා, වැඩ කරලා ඉවර වෙන තැනට ඇවිල්ලා සම්මා සම්බුදු වෙන්නේ. මේ බුදුවරයාට ඕන නම්, අර මහබෝසතාණන්ට වඳින්න පුළුවන්, ඒ තරම් බෝසතාගේ ගුණ වැඩියි. බෝසතා කියන්නේ ඔබගේ කකුල් දෙක මුල වැඳ වැටිලා වැඩ කරන කෙනා. එහෙම ඇවිල්ලා අවසානයේ තමයි සම්මා සම්බුදු වන්නේ. බුදුන් කියන්නේ එහෙම ඇවිල්ලා අවසන් ඵලය බුක්ති විඳින කෙනා.
උදාහරණයක් විදියට ඔබ පැරෂුට් එකකින් පනින කෙනෙක් කියලා හිතන්න, ලෝකයට ඔබ වැඩ කාරයෙක්, අති දක්ෂයෙක්. බෝසතා තමයි පැරෂුට් එක ඔතන්නේ. එතුමා පැරෂුට් එක ඔතනකොට එක දශමයක් හරි වැරදුනොත්, පැරෂුට් එක ඇරෙන්නේ නෑ. ඔබ පැනලා වැඩකාරයා වෙනවා. හැබැයි බෝසතාව පේන්නෙ නෑ. බෝසතා තමා පැරෂුට් එක හැදුවේ. බෝසතාට කාවවත් සම කරන්න බෑ.
ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ, උන්වහන්සේව සමීපව ඇසුරු කල යම් පිරිසක් අතර මෙහෙම කතාවක් ඇති වුණා. ඒ කතාබහ සිදුවුණේ, බුදුන් වහන්සේ එම පිරිස රැඳී සිටි ස්ථානයට වඩින්න යම් වෙලාවකට කලින්.
ඒ තමයි මේ ලෝකයේ අති දුර්ලභම දේ නම් බුදු කෙනෙක් පහළ වීමයි කියලා. එතැන සිටි රහතන් වහන්සේලා පවා මේ කතාව අනුමත කලා.
මේ පිරිස බුදුන් වහන්සේ වඩින තුරු ඉඳලා, "ස්වාමීනි මේ ලෝකයේ අති දුර්ලභම කාරණය නම් බුදු කෙනෙක් පහළ වීම නේද කියලා ?" එම පැනය උන්වහන්සේ වෙත යොමු කළා.
බුදුරජාණන් වහන්සේ ද එය සත්‍යයක් ලෙස අනුමත කලා.
නමුත් මේ අතර සිටි එක්තරා පුද්ගලයෙක් පමණක් "මේ ලෝකේ දුර්ලභම දේ බුදු කෙනෙක් පහළ වීම නොවෙයි කියලා පැවසුවා".
මේ ප්‍රකාශයෙන් පසු, බුදුන් කිවූ දේත් අභිබවා, රහතන් වහන්සේලා කිවූ දේත් අභිබවා මේ තැනැත්තා මෙසේ පැවසීම පිළිබඳව එතන සිටි පිරිස අතර යම් වික්ෂිප්ත බවක් ඇති වුණා.
බුදු කෙනෙක් පහළ වීම නෙවෙයි නම් මොකක්ද මේ ලෝකෙ තියෙන අති දුර්ලභම කාරණය කියලා පිරිස ඔහුගෙන් ප්‍රශ්න කළා.
"මේ ලෝකයේ දුර්ලභම දේ සත්වයෙක්, මනුෂ්‍යයෙක් බිහිවීම කියලා" ඔහු පිළිතුරු දුන්නා.
"බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මේ සත්ත්වයා සසරෙන් ගලවන්න. බුදුවරු ලෝකයේ පහළ වෙන්නේ නෑ, මේ සත්වයා සසරෙන් එතෙර කරවීම අරමුණු කළේ නැත්නම්. එතකොට බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ මේ සත්වයන් කේන්ද්‍ර කරගෙන. සත්වයා සසරින් එතෙර කරවීම අරමුණු කරගෙන. එනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නෑ සත්වයා නැති නම්. අනෙක සත්වයන් අතරේම තමා බුදු කෙනෙක් පහළ වෙන්නෙත්." ඔහු පිළිතුරු දුන්නා.
"මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම කාරණාව තමයි මේ සත්වයෝ. සත්වයෝ නැති නම් බුදු කෙනෙකුත් නැහැ" කියලා ඔහු තවදුරටත් පැවසුවා.
එවිට ගෞතම බුදුන් වහන්සේ මෙසේ පැවසුවා.
" ඔව්. ඔබ පැවසු කාරණය සත්‍යයක්".
නමුත් සත්‍යයන් දෙකක් තියෙන්න බැහැ නේද කියලා අනෙක් පිරිස ප්‍රශ්න කළා. මොකද, බුදු හාමුදුරුවන්ට අනුව මේ කාරණා දෙකම සත්‍යයක්. මොකක්ද මේකේ හරිම කාරණය කියලා ඔවුන්ට නැවතත් ප්‍රශ්නයක් ඇතිවෙලා.
එවිට බුදුරජාණන් වහන්සේ එම පිරිසෙන් මෙසේ ප්‍රශ්න කළා.
"ඔබලාට ඔබගේ නිවන අත හරින්න හැකිද සත්වයාගේ යහපත වෙනුවෙන්? " .
නමුත් එම පිරිසේ කිසිම කෙනෙක් තමන්ගේ නිවන අත හරින්න සූදානම් නැහැ, සත්වයා වෙනුවෙන්. සත්වයන් එතෙර කරන්න කලින් තමන්ට මේ සසරින් එතෙර වෙන්න අවශ්‍යයි කියන එක තමා ඔවුන්ගේ ප්‍රධානතම මතය වුණේ. සත්වයන් ඕනෑ තරම් පහළ වෙනවා. එම නිසා අවශ්‍ය වන්නේ මගේ නිවන සාක්ෂාත් කර ගැනීමයි යන මතය තමයි ඔවුන් දැරුවේ.
ඉන්පසු බුදුන් වහන්සේ අර තැනැත්තා ගෙනුත් ඇහුවා ඔබට සත්වයා වෙනුවෙන් ඔබේ නිවන අතහරින්න පුළුවන්ද කියලා?
එවිට ඔහු පවසනවා "මං මේ වෙනකොටත් මගේ නිවන අත හැරලා හමාරයි සත්වයන් වෙනුවෙන්" කියලා.
මේක ගැඹුරු කතාවක්. එතකොට අර සත්වයන් වෙනුවෙන් තමන්ගේ නිවන අතහරින්න අකමැති පිරිසට ශ්‍රේෂ්ඨ වන්නේ බුදු කෙනෙක් පහළ වීම. ඒ පිරිසට අවශ්‍ය වන්නේ නිවන් දකින්න බුදු කෙනෙක් පහළ වීම පමණයි.
නමුත් අර තැනැත්තාට ලෝකේ ශ්‍රේෂ්ඨතම දේ සත්වයන්. ඒ නිසා ඔහු සත්වයන්ගේ යහපත වෙනුවෙන් තමාගේ නිවන අතහරින්න සූදානම්. ඔහුගේ ශ්‍රේෂ්ඨතම දේ බවට පත් වෙලා තියෙන්නේ සියලු සත්වයෝ. බුද්ධත්වය නෙමෙයි.
එහෙම අය මේ ලෝකයේ ඉන්නවද කියලා ඇහුවොත් ? ඔව් ඉන්නවා. එහෙම අයට තමා බෝසත්වවරු කියලා කියන්නේ.
බෝසතා කියන කෙනා තමන් සතු සියලු දේ කැප කරනවා, සියලු සත්වයන්ගේ හිතසුව පිණිස හා යහපත උදෙසා. සුළං පොද පවා, ජීවිතය පවා , තමන්ගේ සමස්ථයම ඒ අය කැපකරනවා. මේ වගේ අයට තමා බෝසත්වරු කියන්නේ.
ඒක සුවිශේෂී ලක්ෂණයක්. මේ දේ බොරුවට වෙස් වලා ගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනෙක් අය තමන්ගේ නිවන දකින අය. නමුත් බෝසත්වරයෙක් යනු බුදුබව පතාගෙන යන කෙනෙක්. ඔවුන් සත්වයා අරභයා සත්වයා කේන්ද්‍ර කරගෙන තමා ගමන් කරන්නේ. මෙසේ සත්වයන් සසරින් එතෙර කරවීම කේන්ද්‍ර කරගෙන යන නිසා මොවුන්ට සියලු සත්වයන් සසරෙන් එතෙර කරන්න හැකියාව, බුද්ධ ඥානය, බුද්ධ විෂය, ධර්ම සාගරය අවබෝධ වෙනවා.
එසේම බුදුන් වහන්සේ තව දෙයක් වදාරනවා. එනම් සත්වයන් සසරෙන් එතෙර කරන්න බැරි බුදුවරුන් මේ ලෝකෙට කුමකටද? සත්වයන්ගේ දුක නොදැනෙන බුදුවරු මේ ලෝකයට කුමකටද ? සත්වයා වෙනුවෙන් හදවත උණු වෙන්නේ නැති මහා කරුණාවක් නැති බුදුවරුන් මේ ලෝකයට කුමකටද ? සත්වයා සසරින් එතෙර කරන්න අවශ්‍ය මාර්ග දර්ශනය දේශනා නොකරන බුදුකෙනෙක් මේ ලෝකයට කුමකටද? කියලා.
බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ සත්වයන්ව ලෝකයෙන් එතෙර කරන්න. බුදු කෙනෙක් කියලා කියන්නේ සත්වයන් විශාල ප්‍රමාණයක් මේ සසරෙන් එතෙර කරවන්න පහළ වන කෙනෙක්.
ඒ නිසා බුදු කෙනෙක් සත්වයන් සතුටු කරන්න වත්, ඔවුනට සිල් රකින්න කියාදෙන්න වත්, ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වත්, ඔවුන්ගේ ලෞකික ගැටළු විසඳන්නවත් පැමිණෙන කෙනෙක් නොවෙයි. බුදුකෙනෙක් පැමිණෙන්නේ සත්වයා සසරින් එතෙර කරවන්න පමණයි. ඒක තමයි බුදු කෙනෙකුගේ සුවිශේෂීතම කාරණය වන්නේ.
ඒ නිසා බුදු කෙනකුට සත්වයාගේ අකුසල කර්ම තමන් වෙත අරන් එම සත්වයන්ව සසරෙන් නිදහස් කරන්න පුළුවන්. ඒ දේ කරන්න පුළුවන් වන්නේ මහා කරුණාවෙන් යුතු බුදු කෙනකුට විතරයි.
ඒක නිකන් හරියට අම්මා, තාත්තා තමන්ගේ දරුවන්ගේ සියලුම කුණු ටික තමන් අරගෙන ඒ දරුවන්ට හොඳම ටික දෙනවා වගේ. බුදු කෙනෙක් කියන්නෙත් එහෙම කෙනෙක්.
ගෞතම බුදුන් වහන්සේ, බුදු කෙනෙක් කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් කියලා මේ අවස්ථාවේදී දේශනා කරනවා.
නමුත් මේ අවස්ථාවේදී, බහුතර පිරිස අතර විශාල ප්‍රශ්නයක් පැන නගිනවා. මොකද ඔවුනට විශ්වාස කරන්න බෑ සත්වයා වෙනුවෙන් නිවන අත හරින්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්නවද කියලා. ඒක මෝඩ වැඩක් විදිහට තමා ඔවුන් දකින්නේ.
එවිට බුදු හාමුදුරුවෝ දේශනා කරනවා එහෙම අය ඉන්නවා. එක සත්‍යයක්. ඒ තමයි බුද්ධ පරම්පරාව කියලා.
මේ අවස්ථාවෙන් පස්සේ, පිරිස අතර ඇති වුණා වූ ආන්දෝලාත්මක ප්‍රශ්න ගැටලු නිරාකරණය කිරීම සඳහා, මාස ගණනක් යන තුරු සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, අනාගත වංශය ආදී දේශනාවන් ගණනාවක්ම ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා.
එතකොට කවුද අර සත්වයා වෙනුවෙන් තමන්ගේ නිවන අත්හැරපු බෝසත් වරයා? ඒ තමයි රාහුල.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13